සිය සහයෝගය හිමි දේශපාලන පක්ෂයට ජන්දය ප්‍රකාශ කිරීමට ගොස් එය වැරදුනු ජන්ද දායකයෙක් තමන් අතින් සිදුවූ වැරැද්ද පිළිබදව කෝපයට පත්ව සිය අතෙහි ඇඟිල්ලක කොටසක් කපා දැමු පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
මේ වන විට ඉන්දීය මහ මැතිවරණයේ දෙවන අදියරේ ජන්ද විමසීමේ කටයුතු පැවැත්වෙන අතර 25 හැවිරිදි පවන් කුමාර් නම් මෙම තරුණයා ශිකාර්පුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
බහුජන සමාජ් පක්ෂයේ (BSP) ප්‍රබල ආධාරකරුවෙක් වන පවන් කුමාර් පසුගියදා මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයට ගොස් ඇති අතර එහිදී ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට ජන්දය භාවිතා කිරීමේ යන්ත්‍රයේ සටහන්ව තිබු පක්ෂ අතුරින් සිය පක්ෂය බවට සිතා වැරදීමෙන් වත්මන් පාළක පක්ෂය වන අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) සිය ජන්දය ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වුවත් තමන් ජන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව සිදුවූ වැරැද්ද පිළිබදව වැටහුණු පවන් කුමාර් සිත් තැවුලට පත්වුයේ තමන් සහයෝගය දක්වන බහුජන සමාජ් පක්ෂය වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවීම හේතුවෙන්ය.
සිදුවූ වැරැද්ද තමාගේම නොසැලකිල්ල හේතුවෙන් යැයි සිතු පවන් කුමාර් සිය නිවසට ගොස් ජන්දය භාවිතා කිරීමේදී නිල් පැහැයෙන් සළකුණු කරන සිය අතෙහි ඇඟිල්ලේ කොටසක් කපා දමා තිබෙනවා.
තමන් එලෙස ඇඟිල්ලක කොටසක් කපා දැමුවේ තමන්ට ඇතිවූ සිත් වේදනාව හේතුවෙන් බවට පසුව වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ප්‍රකාශ කර තිබෙනවා.