Friday, March 29, 2024

General line - 0115112241

තොණ්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන හැටි දැනුම්දෙයි

රංජිත් රාජපක්ෂ




හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු මේ මස 31 වැනි දින නොර්වුඩ් ක්‍රිඩාංගණයේදී සිදු කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති එස්. සත්‍යවේල් පැවසුවා.

ඊයේ (26) දින පස්වරුවේ ආරුමුගන් තොණ්ඩමන් මහතා හදිසියේ ඇති වු මෙම අසනීප තත්ත්වය මත තලංගම ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අභාවප්‍රාප්ත වුණා.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව 1999 වසරේදි  ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයට පත් වුණා.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු  1994 වසරේ නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

ඒ මහතාගේ දේහය අද (27) දින දවස පුරා බත්තරමුල්ල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර හෙට (28) දින දේහය පාර්ලිමේන්තු සංකිර්ණය වෙත රැගෙන ගොස් එහි පැය කිහිපයක් තැන්පත් කර පසුව දේහය කොළඹ  03 මල්වත්ත පාරේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තැබිමටයි අවමංගල කමිටුව තිරණය කර ඇත්තේ.

29 වැනි දින කොත්මලේ රම්බොඩ පිහිටි තොණ්ඩමන් මහතාගේ නිවස වෙත දේහය රැගෙන එන අතර  එදින එහි තැන්පත් කර තැබෙන දේහය 30 වැනිදා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානය වෙත රැගෙන එනු ඇති. 31 වැනි දා ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු නොර්වුඩ් ක්‍රීඩාංගණයේදි සිදු කරන බවයි ලංකා කම්කරු කොංග්‍රසය පවසන්නේ.

මේ අතර තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව වතුකරයේ කිසිදු වතු කම්කරුවෙකු අද (27) දිනයේ දෛනික රාජකාරි කටයුතුවලට වාර්තා නොකල බවයි අප වාර්තාකරු සඳහන් කළේ.