Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකාවේ ගිනි ගැනීම් වලින් 25ක් මරුට : තවත් විශාල පිරිසක් අතුරුදහන් (PHOTOS /VIDEO)




අමෙරිකාවේ බටහිර වෙරළ තිරයේ පිහිටි ඔරිගන් ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතින ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් අතුරුදහන්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඔරිගන්, කැලිෆෝනියා සහ වොෂින්ටන් යන ප්‍රාන්ත වල මෙම මරණ සිදුව ඇති බවයි අමෙරිකානු බලධාරින් සඳහන් කරන්නේ.

ඔරිගන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය වන කේට් බ්‍රවුන් සඳහන් කළේ ඇතිවී තිබෙන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 40,000ක් ආරක්‍ෂිත ස්ථාන කරා යැවීමට පියවර ගත් බවත් තවත් ලක්ෂ 05 කට ආසන්න ජනතාවක් ඉවත් කර ගැනීමට සිදුව ඇති බවයි.

බටහිර අමෙරිකාවේ මේ වන විට ගිනි ගැනීම් 103ක් වාර්තා වී ඇති බවත් එයින් වනාන්තර අක්කර මිලියන 3.4 ක ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

මේ අතර කැලෑ ගිනි තැබීම සිදුකළ පුද්ගලයෙක්ද ඔරිගන් ප්‍රාන්ත බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිට අමතරව පොර්ට්ලන්ඩ් හි බන්ධනාගාරයක සිටි කාන්තා රැඳවියන් 1,300 දෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරුකොට යැවීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

පවතින වියලි කාලගුණය සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් ලැව් ගිනි පාලනය කිරිමට ගිනි නිවීමේ භටයින්ට ඉතා අසිරූ කාර්‍යයක් වී තිබෙනවා.

ලැව් ගිනි ව්‍යාප්ත වී ඇති බොහෝ නගරවල අහස තැඹිලි පැහැති ස්වරූපයක් ගෙන ඇති අතර අමෙරිකාවේ නගර රැසක වායු දුෂණය ඉහළ ගොස් ඇති බවයි කාලගුණ බලධාරීන් සඳහන් කරන්නේ.

පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් ලැව් ගිනි තත්ත්වයට සමාන අයුරින් අමෙරිකාවේ මේ වන විට විශාල විනාශයක් වෙමින් පවතින බවයි විද්‍යාඥයින් මත පළකර සිටින්නේ.