Wednesday, May 1, 2024

General line - 0115112241

පකිස්තානය පැරදවූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල ආසියානු කුසලාන අවසන් මහා තරඟයට




වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම අද සමත් වුණා. 

ඒ, අද පැවති අර්ධ අවසන් වටයේ තරගයකදී පකිස්තාන කණ්ඩායම ලකුණු 22 කින් පරාජයට පත් කරමින්. 

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 5 කදී සියළු දෙනා දැවී ලකුණු 147 ක් රැස් කළා. යසිරු රොද්‍රිගු පන්දු 81 කදී නොදැවී ලකුණු 31 කයි. මතීෂ පතිරණ පන්දු 33 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 31 ක් රැස් කළා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තාන කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 3 කදී සියළු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 125ක් පමණයි. පන්දුවෙන් දස්කම් දැක්වූ ටේ‍රවීන් මැතිව් ලකුණු 14 කට කඩුළු 4 ක් දවාගත් අතර නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 31කට කඩුළු 3 ක් දවා ගත්තා. 

අද පැවති අනෙක් අර්ධ අවසන් තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 103 කින් පරාජයට පත් කළ ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. ඒ අනුව ඩුබායිහිදී හෙට පැවැත්වෙන 19 න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරග වැදීමට නියමිතයි. 

මීට පෙර සිව් වතාවක් මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. කෙසේවෙතත් ඉන් කිසිදු අවස්ථාවකදී ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්කම් දක්වා නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයා ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතර පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අවිශ්ක ගුණවර්ධනයි.