Thursday, April 25, 2024

General line - 0115112241

අධි ආරක්ෂිත කලාපවලට එරෙහිව සමගි ජනබලවේගයෙන් 




කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාපය වශයෙන් නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ මුජිබර් රහුමාන් විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප වශයෙන් නම් කරමින් ජනාධිපතිවරයා විසින් ඉකුත් 23 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි. 

රාජ්‍ය රහස් පනත යටතේ එම ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි පෙන්වා දුන් පෙත්සම්කරුවන් අදාළ පනත යටතේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ද පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා. 

ඒ අනුව තමන්ට පැවරී ඇති බලතල අභිබවා ගොස් ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු එය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.