Friday, March 29, 2024

General line - 0115112241

ආදර්ශමත් සහ චෝදනා නොමැති නිලධාරියෙකු පොලිස්පති ධූරයට පත් කරන්නැයි නීතීඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි




මූලික අයිතිවාසිකම් හෝ අපරාධ නඩු හෝ නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති කිසිදු නිලධාරියෙකු පොලිස්පති ධූරය සඳහා පත් නොකරන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, එම සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.

ලබන 23 වනදා සී ඩී වික්‍රමරත්න විශ්‍රාම යාමට නියමිත බැවින් ඉන් අනතුරුව පොලිස්පතිධූරය පුරප්පාඩු වනවා. පොලිස්පතිවරයා යනු පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියායි. එබැවින් පුරප්පාඩු වන පොලිස්පති ධූරයට හැකි හොඳම පත් කිරීම සිදු කිරීම ඉතා වැදගත් බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ. 

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බරපතළ ලෙස බිඳවැටී තිබෙනවා. ස්වාධීනත්වය නොමැතිවීම, දේශපාලනීකරණය, ම්ලේච්ඡත්වය, මරණ, වෘත්තීයභාවය නොමැතිකම වැනි කරුණු පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වී ඇති බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය පැවසුවේ.

යුක්තිය පසිඳලීමට සහ නීතියේ ආධිපත්‍යය සඳහා පොලිසිය කෙරෙහි මහජනයාගේ විශ්වාසය පැවතීම අත්‍යවශ්‍ය බව එම සංගමයේ අදහසයි.

ඒ අනුව මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මීළඟ පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය නැවත ඇති කිරීමට හැකි ආදර්ශමත් සහ චෝදනා නොමැති නිලධාරියෙකු වීම අතිශයින් වැදගත් බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.