Saturday, September 21, 2024

General line - 0115112241

පක්ෂයේ තීරණය ගැන දෙපැත්තම කතා කරයි




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සංවිධායකවරුන් පිරිසක් ඉවත් කර නව ආසන සංවිධායකවරුන් සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් පිරිසක් පත්කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස් පළ වනවා.

සංවිධායක ධුරයකින් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පවිත‍්‍රා වන්නිආරච්චි කියා සිටියේ මෙම තීරණයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් දුර්වල වන බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ මෙම තීරණය මීට බොහෝ පෙර ලබාගැනීමට තිබූ එකක් බවයි. ඔහු ද සංවිධායක ධුරයකින් ඉවත් කෙරුණු අයෙකු වනවා.

සංවිධායක ධුරයකින් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී. රත්නායක ද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය තමන්ට තවමත් අපැහැදිළි බවයි ඔහු කියා සිටියේ. කෙසේවෙතත් ජනතාවගේ මතය සමග තමන්ද සිටින බවයි පැවසුවේ.

මහින්ද යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ජගත් බාලසුරිය සහ සරත් කුමාර ගුණරත්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුර අහිමි වූ තවත් කිහිපදෙනෙක්. ඔවුන් සියලුදෙනා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනවා.

මේ අතර නව සංවිධායකවරුන් ලෙස පත්කෙරුණු අය අතර තරුණයන් වැඩි දෙනෙකු ද සිටිනවා.  ඇහැලියගොඩ නව ආසන සංවිධායක සරත් සන්දනායක සඳහන් කළේ මෙම නව පත්වීම් සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන බවයි.

වැලිගම නව ආසන සංවිධායකවරයා ලෙස පත්කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේමාල් ගුණසේකර ද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා. හෙතෙම පැවසුවේ පාට පක්ෂවලින් තොර සියලු දෙනා එක්ක ඉදිරි දේශපාලන ගමන යෑමට අපේක්ෂාවෙන් සිටින බවයි.

තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම මහජන සේවයක් ඉටුකරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර නව දිස්ත‍්‍රික් සංවිධායකවරයෙකු වන හසිත ගුණවර්ධන ද කියා සිටියා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද පත්කෙරුණු නව ආසන සංවිධායකවරුන් ගණන 13 දෙනෙක්. දිස්ත‍්‍රික් සංවිධායකවරුන් 24 දෙනෙකු ද අද පත්කෙරුණා.