Saturday, September 21, 2024

General line - 0115112241

අමෙරිකානු තානාපති හා කියයි – වෛද්‍යවරුන් බෑ කියයි




පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර වෛද්‍ය වාර්තා ලබාදෙන ලෙසට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් කළ ඉල්ලීම අමෙරිකානු වෛද්‍යවරුන් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මේ වන විට යාපනයේ ඉඩෙයිකාඩු ප‍්‍රදේශයේ පවත්වාගෙන යන වෛද්‍ය සායනයකට පැමිණ සිටින අමෙරිකානු වෛද්‍ය කණ්ඩායමකින්.

වෛද්‍ය පරීක්ෂණයකට සහාය ලබාදෙන්නැයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මීට පෙර ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාබ්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඊට තානාපතිවරයා කැමැත්ත පළ කර තිබූ බවයි උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් ප‍්‍රකාශ කළේ.

අදාළ වෛද්‍ය පරීක්ෂණය සඳහා පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් ඊයේ (20) දිනයේදී අදාළ අමෙරිකානු වෛද්‍ය කණ්ඩායම හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ලේකම්වරයාගේ මාර්ගයෙන්.

එහෙත් ඔවුන් පරීක්ෂා කිරීම අමෙරිකානු වෛද්‍යවරුන් ප‍්‍රතික්ෂේප කළ බවයි ෂිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.