Friday, October 18, 2024

General line - 0115112241

ඉතිහාසය අලුතින් ලියූ ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව ගෙදර යවා අවසන් පූර්ව වටයට




ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයට සුදුුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත් වුණා.

ඒ, 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ අද පැවති අවසන් තරඟයේදී බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 05ක් දැවී ලකුණු 115ක් රැස් කළා.

රහමනුල්ලා ගුර්බාස් පන්දු 55කදී ලකුණු 43යි.

ඊබ්‍රාහීම් සද්‍රාන් ලකුණු 18යි.

පන්දු යැවීමේදී රිෂාඩ් හොසේන් ලකුණු 26කට කඩුලු 03ක් දවා ගත්තා. 

ඒ අනුව තරඟයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 116ක පහසු ඉලක්කයක් හිමිව තිබුණා.

කෙසේවෙතත් තරඟයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් බංග්ලාදේශ ඉනිම පන්දුවාර 19කට සීමා කිරීමට සිදු වුණා.

ඒ අනුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය යටතේ බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දුවාර 19කදී හිමිවූ ඉලක්කය ලකුණු 114ක්.

කෙසේවෙතත් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 05කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 105ක් පමණයි.

ආරම්භක පිතිකරු ලිටන් ඩාස් නොදැවී ලකුණු 54ක් රැස් කළා. 

සෙසු කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී රෂීඩ් ඛාන් ලකුණු 23කට කඩුලු 04ක් දවා ගත් අතර නවීන් උල් හක් ලකුණු 26කට කඩුලු 04ක් දවා ගත්තා. 

ඒ අනුව සුපිරි 08 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයෙන් ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.