Saturday, September 21, 2024

General line - 0115112241

ගොඩගත් ලසන්තගේ දේහයේ ස්වභාවය පහදයි




බොරැල්ල පොදු සුසාන භූමියේදී අද (27) උදෑසන ගොඩගැනුණු මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දේහය නැවත කෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා රැගෙන ගොස් තිබෙනවා. අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අතුල සී. රණගල අද උදෑසන දේහය ගොඩගැනුණු අවස්ථාවේ ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා.

“දේහයේ සැකිල්ල සම්පූර්ණයෙන්ම පවතිනවා. ඒකට හේතුව දේහය පොලිතීන් ආවරණයකින් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලයි තිබුණේ. ඒ නිසා ගොඩ ගැනීමේදී සම්පූර්ණ සැකිල්ලම ලබා ගන්න පුලුවන් වුණා.”

ඉකුත් 2009 වසරේ ජනවාරි මස 8 වෙනිදා මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට ලක්වුණා. ඒ, සිය නිවසේ සිට කාර්යාලය බලා යමින් සිටියදී අත්තිඩිය කවුඩාන මාර්ගයේදීයි. මෙම මරණය සම්බන්ධයෙන් ලබාගත් විද්‍යාත්මක වාර්තා පරස්පර බවත් ඒ නිසා පශ්චාත් මරණ පරීක්ෂණයක් නැවත සිදුකළ යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් දා ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කියා සිටියා. දේහය ගොඩගැනීමට මහේස්ත‍්‍රාත්වරයා විසින් නියෝගයක් ලබාදුන්නේ ද ඒ අනුවයි.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අතුල සී. රණගල ඒ පිළිබඳවද වැඩි දුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ “ලසන්ත මහතාව ශල්‍යකර්මයට භාජනය කළ වෛද්‍යවරයා මොහාන් සිල්වාගේ වාර්තාවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවත් රසපරීක්ෂකවරයාගේ වාර්තාවත් පරස්පරතාවයන් දක්වනවා. ඒ නිසා තමයි මෙය වෙඩි තැබීමෙන් වූ මරණයක්ද? නොමැති නම් ආනයනය කළ විශේෂ ආයුධයකින් ඇන ඝාතනය කරන ලද අවස්ථාවක්ද? සහ එම ආයුධය හඳුනාගැනීමත් අවශ්‍ය බැවින් එකී කාරණා සියල්ල වෙනුවෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම මෙහි අරමුණ වනවා.” යනුවෙනි.

01 02 03