Saturday, September 21, 2024

General line - 0115112241

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු 7 කට ඇප




ඇවන්ගාර්ඞ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු සැකකරුවන් 7 දෙනෙකුට අද ඇප හිමිවුණා.

ඒ, අල්ලස් කොමිසම ගොණුකර තිබූ අදාළ නඩුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැණුනු අවස්ථාවේදීයි.

ගෝඨාභය රාජපක්‍ෂට අමතරව හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

එහිදී එක් අයෙකුට රුපියල් ලක්‍ෂ දෙකක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 ක ශරීර ඇප දෙකක් නියම කෙරුණා.

සැකකරුවන් විදේශගතවීම තහනම් කරමින් නියෝගයක්ද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මෙහිදී ලබාදුන්නා.

………………………………………………………

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභය අධිකරණයට

Sep 30, 2016 @ 11:45

අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට පෙනී සිටිමට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභයට රාජපක්‍ෂ ඇතුළු 8 දෙනෙකු අද (30) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණියා.

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදිමෙන් රජයට රුපියල් කෝටියකට අධික පාඩුවක් සිදුකළ බවට මෙම නඩුව පවරා ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින්. එහිදී විත්තිකරුවන් මූලික විරෝධතාවක් ගොණුකරනු ලැබුවා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙහිදී අධිකරණයට දන්වා සිටියේ අල්ලස් කොමිසමේ ලිඛිත අනුමැතියකින් තොරව එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය මෙම නඩුව ගොණුකර ඇති බවයි.

මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් නඩු කටයුතු අවසන් කර සියලුම සැකකරුවන් නිදහස් කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

කෙසේවෙතත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙහිදී කියාසිටියේ කොමිෂන් සභා පනතට අනුව අධ්‍යක්‍ෂ ජනරාල්වරියට එලෙස නඩුවක් පැවරීමට හැකියාවක් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියගෙන් උපදෙස් ලබාගැනීමට රජයේ නීතිඥවරයා අවසර ඉල්ලා සිටි බැවින් නඩුවේ කටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

පෙරවරු 11.30 ට පමණ එහි කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිතව තිබුණා.