Saturday, September 21, 2024

General line - 0115112241

ආබාධිත රණවිරුවෝ වෙනුවෙන් රනිල් – විමල් පාර්ලිමේන්තුවේදී ගැටෙයි




ආබාධිත රණවිරුවන්ට කිසියම් පහරදීමක් සිදුව ඇත්නම් ඊට සම්බන්ධ සියලූ පාර්ශ්වයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද මේ බව කියා සිටියා.

ඉකුත් දා ජනාධිපති කාර්යාලය අසල පැවති විරෝධතාවයේදී රණවිරුවන්ට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් ගන්නා කි්‍රයාමාර්ග මොනවාදැයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ඒ පිළිබඳ හෙට දිනයේදී ප්‍රකාශයක් සිදුකරන බවයි.

එහෙත් ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් ලබාදීමට රජය කටයුතු කර තිබියදී මෙවැනි තත්ත්වයක් ඇති කිරීමට මූලික වූ පුද්ගලයින් පිළිබඳ සොයාබලන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විමල් වීරවංශ මන්ත්‍රීවරයා අතර උණුසුම් සංවාදයක් ඇති වුණා.

අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී කියා සිටියේ පහරදීමක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.