Friday, October 18, 2024

General line - 0115112241

නියගයට මුහුණ දෙන්න ත්‍රිවිධ හමුදාවත් සීරුවෙන්




නියගයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහය ලබා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සහන සැලසීමේ කටයුතුවල නිරත වී සිටින රජයේ නිලධාරීන්ට අමතරව හමුදා සාමාජිකයින් ද ඊට අනුයුක්ත කරන බවයි.

ත්‍රීකුණාමලය චීන වරාය නාවික හමුදා කදවුරේ පැවති ආධුනික සෙබළුන්ගේ විසිර යාමේ උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා අද මේ බව කියා සිටියා.

පවතින වියළි කාලගුණ තත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා රජය විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

රටේ ජාතික සමගිය ආරක්ෂා කිරීම සදහා ත්‍රිවිධ හමුදාව මහත් කැපවීමෙන් යුතුව කටයුතු කරනු ලබනවා. සේනාධිනායකයා ලෙස තමන් එය අගය කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් තමන් දැඩි විශ්වාසයකින් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහි දී සිහිපත් කළා. තිස් වසරක් පුරා පැවති යුද්ධය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කළා.

තාක්ෂණික යුද්ධය ජය ගැනීමට ද රටේ සියලූ දෙනා එක්විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.