Saturday, September 21, 2024

General line - 0115112241

ඉන්දීය අගමැතිගේ නෝර්වුඩ් කතාව වතු දෙමළ ජනයාගේ මොළේ අවුල් කරයිලු




පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නෝර්වුඩ් ප්‍රදේශයේ පැවති රැස්වීමක දී සිදු කළ ප්‍රකාශ පිළිබඳ සිය සංගමයේ දැඩි අවධානය යොමු වී  ඇති බව ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යාවරයා ලෙස ඔහු මෙරට එක්  ජනකොටසක් පමණක් ප්‍රසිද්ධ මහජන හමුවක දී ඇමතීම වැරදි පූර්වාදර්ශයක් බවත් ඔහුගේ  කතාව උඩරට දෙමළ ජනතාවට හැර රටේ අන් ජනකොටස් සඳහා අදාළ නොවන බවද පෙන්වා දෙනවා.

ඉන්දියානු වතු දෙමළ  ජනතාව ඉන්දීය සංස්කෘතිය පවත්වාගෙන යන බව පවසමින් එයට අනුබල දීම එකී ජනතාව මෙරට සංස්කෘතියට අවශෝෂණය වීම අධෛර්යමත් කිරීමක් බවත් එකී නිවේදනයෙන් දක්වා තිබෙනවා. ඉන්දීය සංස්කෘතිය මෙරට පවත්වාගෙන යෑමේ  කිසිඳු අවශ්‍යතාවක් සිය සංගමය නොදකින බවයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පෙන්වා දෙන්නේ.

මෙම අදහස් වත්මන් රජය ක්‍රියාවට නංවනවායැයි පවසන සංහිඳියා ප්‍රතිපත්තිවලටද පටහැනි බව පෙන්වා දෙනවා.  
 
වතු දෙමළ  ජනතාව ඉන්දියානු සම්භවයක් ඇති ඉන්දීය ඩයස්පෝරාවක කොටසක් ලෙස හැඳින්වීම ඉතා වැරදි ප්‍රකාශයක් බවත් එමගින් උඩරට වතු දෙමළ ජනතාව තුළ වැරදි මානසික තත්ත්වයක් ගොඩ නැගෙන බවද සැබවින්ම එම ජනතාව ඉන්දීය ඩයස්පෝරාවක කොටසක් නොව ශ්‍රී ලංකාවේ පුරවැසියන් බවද මින් සඳහන් කරනවා. 

ඉන්දීය අගමැතිතුමාගේ සමස්ථ කතාව තුළින් ගම්‍ය වන්නේ  ඔහු  ශ්‍රී ලංකාවේ වතු දෙමළ  ජනතාව සැලකුවේ අසල්වැසි විදේශ රටක ජන කොටසක් ලෙස නොව ඉන්දියාවේ ප්‍රාන්තයක ජන කොටසක් ලෙස බවයි  ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මතය වන්නේ.

දකුණු ආසියානු රටක දේශපාලන නායකයකු සිය ජන්ද දායකයන් අමතමින් විවිධ පොරොන්දු ලබා දෙන ආකාරයටම ඉන්දීය අගමැතිතුමා නෝර්වුඩ්හි දී විවිධ ප්‍රකාශ නිකුත් කළ බවද සඳහන් කර තිබෙනවා. 

ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා ඒකරාශී වූ එකී රැස්වීමේ දී ඉන්දීය අග්‍රාමාත්‍යාවරයා සිදු කළ  ප්‍රකාශ මෙරට බෙදුම්වාදයට උල්පන්දම් දීමක් ලෙස ද   ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය හඳුන්වනවා.

මෙරට ප්‍රධාන සංස්කෘතියට බද්ධ නොවූ ඉන්දීය ඩයස්පෝරාවක් මෙරට කඳුකරයේ පවත්වාගෙන යෑමේ ඉන්දීය උවමනාව අනාගත ශ්‍රී ලංකාවේ තවත් බෙදුම්වාදී ප්‍රශ්නයකට මූල බීජ සපයන බවයි ඉන් පෙන්වා දෙන්නේ.

මේ නිසා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නෝර්වුඩ් හිදී සිදු කල ප්‍රකාශ පිළිබඳ සිය සංගමය බලවත් අප්‍රසාදය පළ කරන අතර මෙවැනි අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර ගැනීම මෙරට දේශපාලන නායකයන්ගේ ද වගකීමක් බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.