Saturday, September 21, 2024

General line - 0115112241

වේයන්ගොඩ වෙසක් තොරණට සංහිඳියාව හරස් වෙයි - තොරණ ඉදිකිරීමට තහනමක්




වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව ප‍්‍රදර්ශනය කරන වෙසක් තොරණ මෙවර ඉදිකිරීමේ දී තමන්ට තහනමක් පැනවුණු බව එහි වෙළඳ සංගමය පවසනවා. 

එහි සභාපති සුරේන් චන්ද්‍ර කුමාර සඳහන් කළේ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් තොරණ මෙවර ඉදි නොකරන ලෙස දැනුම් දුන් බවයි. 

අපි අවුරුදු 8ක්  වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොරණක් කරා. 8 වෙනි වරට තොරණ කරගෙන යනකොට අපිට ලියුමක් ආවා අමාත්‍යාංශයෙන් 2016.05.17 වෙනිදා. ලියුමේ සඳහන් වෙන්නේ "බාහිර පාර්ශයන්ගේ ඉල්ලීම මත ලබා දිය නොහැකි බව සම්බන්ධයෙන්" කියලා ලේටර් හෙඩ් එකකින් ඇවිත් තියෙනවා. එහි තිබෙනවා මෙය රජයේ දේපලක් වන බවත් බාහිර පාර්ශවයන්ට පහත සඳහන් ඉල්ලීම් ලබා දිය නොහැකි බවත්ය. වෙළඳ ප්‍රදර්ශන, සැනකෙළි, ආධාර එකතු කිරීම්, තොරණ්, හා දේශපාලන රැස්වීම් වැනි කටයුතු සඳහා අවසර දිය නොහැකි බවයි. මෙම ලියුම අපිට ආවේ 2016.05.17 වෙනිදයි. අපි ඒ වෙනකොට තොරණ සාදා තිබුණු නිසා 2016.05.18 වෙනිදා තොරණ ප්‍රදර්ශණය කරා. 

තොරණ ඉදි කිරීම ආගමික සංහිඳියාවට බාධාවක් විය හැකි බවට තමන්ට දැනුම් දීමක් කර තිබූ බවද ඔහු කියා සිටියා.

මේ සැකය නිසා අපි 2017 වසරේ තොරණ කරන්න පෙර අමාත්‍යාංශයේ ලේකම්තුමියට 2016.11.27 වෙනි දින ලබන අවුරුද්දේ තොරණ කිරීම සම්බන්ධයෙන් විමසීමක් කළා. ඒ මේ පාරත් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොරණ කරන්න අවසර දෙන්න කියලා. අපිට ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ආවේ නෑ. පසුව අපි නැවත නැවත දැනුවත් කිරීම් කළා. ඉන් පස්සේ අමාත්‍යාංශයේ කළමනාකරතුමාගෙනුත්  ඉල්ලීමක් කළා. එතුමා ඉන් පස්සේ කිව්වේ වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සෑම අන්‍යාගමිකයෙක්ම ඉන්නවා. මේ තොරණ ඉදිකිරීමට අවසර දුන්නොත් අනෙක් ආගම් වලින් ප්‍රශ්න ඇතිවෙනවා. පසුව සංහිඳියාව ඇතිවෙන බවයි. 

කෙසේ වෙතත් මීට පෙර සියලූ දෙනා එක්ව සහයෝගයෙන් මෙම වෙසක් තොරණ ඉදිරිපත් කළ බවයි වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති සුරේන් චන්ද්‍ර කුමාර සඳහන් කළේ.

වේයන්ගොඩ නගර මධ්‍යයයේ වාර්ෂිකව ඉදි කෙරුණු මෙම තොරණ එම ප‍්‍රදේශයේ ප‍්‍රදර්ශනය කෙරෙන ප‍්‍රධාන තොරණ අතරට අයත් වුණා. 

මෙවර තොරණ ප‍්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් වෙසක් තොරණ නැරඹීම සඳහා වේයන්ගොඩ නගරයට ආසන්න වෙනත් නගර වෙත යාමට සිදු වූ බවයි ප‍්‍රදේශවාසීන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.