Saturday, September 21, 2024

General line - 0115112241

චීනයෙන් තවත් රුපියල් බිලියන 44ක ආධාරයක්




ඉදිරි වසර 02 සඳහා චීන යුවාන් මිලියන 02ක ආධාරයක් ශ‍්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව චීන ජනාධිපති ෂී ජිං පින් පවසනවා. එය ආසන්න වශයෙන් රුපියල් බිලියන 44ක් පමණ වනු ඇති. 

චීන ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ බීජිං නුවරදී හමු වූ අවස්ථාවේදියි. 

ඒ අනුව ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙන චීන යුවාන් මිලියන 400ක මුදල් ප‍්‍රදානයට අමතරව මෙම මුදල හිමිවනු ඇති. 

ශ‍්‍රී ලංකාවේ ජාතික සමගිය, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය සඳහා පූර්ණ සහාය ලබා දීමට කටයුතු කරන බවද චින ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. 

චීන - ශ‍්‍රී ලංකා සබඳතා තව තවත් පුළුල් කිරීමේ ඉඩකඩ පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා වී ඇති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය  සඳහන් කළේ. 

එහිදී අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සහ ආයෝජනයක් සඳහා චීන රජය ලබා දෙන සහයෝගයට තමන් සිය කෘතඥතාව පළ කරන බවයි.  

මේ අතර, චීන යුවාන් මිලියන හාරසීයේ මුදල් ප‍්‍රදානයට අදාළ ගිවිසුමට අග‍්‍රාමාත්‍යවරයා සහ චීන නියෝජ්‍ය වෙළඳ අමාත්‍යවරයා ඊයේ අත්සන් තැබූ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ. 

චීනයේ පැවති ‘‘එක් තීරයක් - එක් මාවතක්‘‘ මහා සමුළුවට සහභාගී වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද අළුයම දිවයිනට පැමිණියා.