Saturday, September 21, 2024

General line - 0115112241

පාගමන අතරතුර පොලිස් නිලධාරීන්ටත් පහර දීලා - පොලිසිය කියයි




සරසවි සිසුන්ගේ සයිටම් විරෝධී පාගමන අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පෙන්වා දෙන්නේ පොලිස් නිලධාරීන්ට පහරදීම් සහ සාමය කඩවන ලෙස සැසිරීම් වැනි ක්‍රියා හේතුවෙන් පොලිස් නිලධාරීන් 05 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

(අදාළ නිවේදනය පහතින් දැක්වෙයි)


 

-----------------------------

මහපාර වසාගෙන සරසවි සිසුන් බිම ඉඳගනී

(2017-05-17 19:16)

 

සයිටම් ආයතනයට විරෝධව දක්වමින් පා ගමනින් පැමිණි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩල සිසුන් මේ වන විට කොල්ලුපිටිය පිත්තල හන්දියේ සිට මහජන පුස්තකාලය දක්වා වූ මාර්ගය මුළුමනින්ම අවහිර කරමින් මාර්ගයේ ඉඳගෙන විරෝධය දක්වනවා.





 

---------------------------

විහාරමහාදේවී උද්‍යානයට කඳුලු ගෑස් වරුසාවක්

(2017-05-17 18:12)

 

සයිටම් විරෝධීන් හඹා යමින් සිටින පොලිසිය මේ වන විට කඳුලු ගෑස් ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් විහාරමහාදේවි උද්‍යානය දුමාරයෙන් පිරී ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස කඳුළු ගෑස් ගැසීම නිසා උද්‍යානයේ සිටි සාමන්‍ය ජනතාව ද මහත් අපහසුතාවට පත්ව සිටිනවා.

උද්‍යානයේ ආපන ශාලාවේ සහ වැසිකිළිවල ජලය කපා හැර ඇති අතර විහාර මහා දේවී උද්‍යානයට කඳුළු ගෑස් ගැසීම සම්බන්ධයෙන් එහි සිටි සාමාන්‍ය වැසියන්ද උණුසුම්කාරී ලෙස හැසිරෙන බවත් වාර්තා වෙනවා.

සයිටම් විරෝධී උද්ඝෝෂණයේ යෙදුනු සිසුන් පිරිසක් පොලිසිය මීට ටික වෙලාවකට පෙර අත්අඩංගුවටද ගත්තා. 

මේ අතර කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය සඳහන් කළේ මේ වන විට සිද්ධියෙන් තුවාල ලැබූ සරසවි සිසුන් 08  දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන බවයි. 

--------------------------------

සරසවි පා ගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර 

(2017-05-17 15:44)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට විහාරමහාදේවී උද්‍යානය අසලදී පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරක්ෂා කිරීමට රජය කටයුතු කිරීම, සරසවිවලට සිසුන් බඳවාගැනීම කප්පාදුව, ප්‍රතිපාදන කප්පාදුව ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් මෙම විරෝධතාව ආරම්භ කළා.

මේ අතර කොළඹ පුරහල ප්‍රදේශය අසල දැඩි රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වෙන්නේ.

 

-----------------------

සරසවි සිසුන් නිසා කොළඹ පාරවල් හිර වෙයි 

(2017-05-17 14:43)

 

සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුවේ රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

සෙරමික් හන්දිය,  ඕල්කට් මාවත සහ ලෝටස් පාරේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව  අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව එක්ව මෙම විරෝධතා පාගමන සංවිධාන කර තිබෙනවා.