Saturday, September 21, 2024

General line - 0115112241

පොලිසියේ කඳුලු ගෑස් මෙහෙයුම නිසා සරසවි සිසුන් ඉලක්කය මගහැර ගිහින්




මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජන සතු කරන්නැයි ආණ්ඩුවට බල කරමින් ඊයේ (17) විරෝධතාවේ නිරතවූ සිසුන්ගෙන් හත් දෙනෙකු සහ එක් හිමිනමක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සිද්ධියෙන් තුවාල ලැබූ දස දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

විරෝධතාවයේ නිරත වූ සරසවි සිසුන් විසුරුවා හැරීමට පොලිසිය මුලින්ම කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කළේ කොළඹ නගර ශාලාවත් විහාරමහාදේවී උද්‍යානයත් අතර ප්‍රදේශයේදීයි.  

එහිදී සරසවි සිසුන්ට විහාරමහාදේවී උද්‍යානය තුළට ඇතුලුවීමට සළස්වා හතර පැත්තකින් වට කර පිටවීමට ඉඩ නොදී කඳුලු ගෑස් ප්‍රහාර එක දිගට එල්ල කර තිබෙනවා.

සරසවි සිසුන්ගේ අරමුණ වී තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව වටලා එහි අට්ටාල ඉදි කිරීම හරහා විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමයි.

කෙසේනමුත් පොලිසිය එල්ල කළ දැඩි කඳුලු ගෑස් ප්‍රහාර හමුවේ සරසවි සිසුන්ට එම අරමුණ ඉටු කර ගැනීමට අවස්ථාව උදා වුණේ නැහැ.

අධිකරණ නියෝග කඩකරමින් ඊයේ කොළඹදී විරෝධතා පාගමනක නිරතවූ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නායකයින් සම්බන්ධයෙන් අද (18) දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන බවයි පොලිසිය පවසන්නේ.

මෙම විරෝධතා පෙළපාලිය අත්හිටුවන්නැයි පොලිසිය අලුත්කඩේ සහ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් එම විරෝධතා පෙළපාලිය වලක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කෙරුණා. කොටුව අතිරේක මහේස්ත‍්‍රාත්වරිය පොලිසියට දැනුම් දුන්නේ මහජනතාවට පීඩාවන ආකාරයෙන් හැසිරෙන්නේ නම් පොලිසියට බලය පාවිච්චි කිරීමට හැකියාව ඇති බවයි.

මේ අතර ඊයේ පැවති මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසිය කඳුලු ගෑස් ප‍්‍රහාර සියයකට වැඩි ප‍්‍රමාණයක් එල්ල කර ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කරනවා.

(ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)