Saturday, September 21, 2024

General line - 0115112241

නවක විශ්ව විද්‍යාල සිසුන්ට දැනුම්දීමක්




තැපැල් වර්ජනය හේතුවෙන් නවක සිසුන්ට විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වීමට අවශ්‍ය යොමු අංකය ද මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වනවා.

ලියාපදිංචි වීම හෙටින් (30) අවසන් වීමට නියමිත අතර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව විසින් මේ සඳහා පොදු දුරකථන අංක දෙකක් ලබා දී ඇතත් එම දුරකථන අංක බොහෝ අවස්ථාවල කාර්යබහුල වීම හේතුවෙන් සිසුන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

එහි ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ අදාළ දුරකථන අංක අමතා විභාග අංක ඉදිරිපත් කිරීමෙන් පසු යොමු අංකය ලබා ගත හැකි බවයි. අදාල යොමු අංක විශ්ව විද්‍යාල කොමිසන් සභාවට පැමිණ ලබා ගත හැකි බව ද ඔහු සඳහන් කළා. 

විශ්වවිද්‍යාලවල පළමු වසර සදහා ඇතුළත් වන නවක සිසුන්ට ලියාපදිංචි වීමට ලබාදී තිබූ කාලසීමාව දීර්ඝ කිරීමටද ඒ අනුව තීරණය කර තිබෙනවා. 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් සිල්වා සදහන් කළේ හෙටින් (30) අවසන් වීමට නියමිතව තිබූ මෙම කාලසීමාව ලබන මස 07 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි. 

විශ්වවිද්‍යාලවල ලියාපදිංචි විය යුත්තේ online ක්‍රමයට වන අතර ඒ සඳහා යොමු අංකය අවශ්‍ය වනවා.

විශ්වවිද්‍යාලවල ලියාපදිංචිය සම්බන්ධයෙන් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් විමසීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පොදු දුරකථන අංක දෙක වන  0112695302 සහ 0112695301 යන දුරකථන අංක දෙක වෙන්කර තිබෙනවා.

රට පුරා ක‍්‍රියාත්මක තැපැල් සේවක වර්ජනය හේතුවෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ 10කට අධික ප‍්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පැවසුවා.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර නෙත් නිවුස් වෙත කියා සිටියේ බලධාරීන් සමග ඊයේ (28) පැවති සාකච්ඡා ද අසාර්ථක වූ බවයි.