Saturday, September 21, 2024

General line - 0115112241

උද්ධච්චයි..වගකීම් විරහිතයි.. - සයිටම් සටනට තෙලුත් එක්වේ  !




සයිටම් ගැටලුව සිසුන්ගේ ගැටලුවක් නොව ජාතික ප්‍රශ්නයක් බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුවේ කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා සඳහන් කර ඇත්තේ මෙම ගැටලුව  ගැඹුරින් විශ්ලේෂණය කර  ප්‍රායෝගික විසඳුමක් කරා  එළඹීම වෙනුවට වගකීම් විරහිතව උද්ධච්ච අන්දමින් හැසිරෙමින්  රජය ගෙනයන මර්ධන ප්‍රතිපත්තියට තමන්ගේ දැඩි විරෝධය පළ කරන බවයි.


එම නිවේදනය මෙසේයි.


'සියලුම මාධ්‍ය ආයතන වෙත,

විශ්ව විද්‍යාල සිසුන්ට අමානුෂික ලෙස පහරදීම හා ශිෂ්‍ය මර්ධනයට විරෝධය

සයිටම් ගැටලුව සම්බන්ධයෙන් වෛද්‍ය සිසුන් 6000 කට අධික සංඛ්‍යාවක් පංති වර්ජනය අරඹා මාස ගණනාවක් ගතව ඇත. ඉදිරියේදී රජයේ වෛද්‍ය විද්‍යාලවලින් නියමිත කාලයට  වෛද්‍යවරුන් පිටනොවීම සමඟ සමස්ථ රෝහල් පද්ධතියම අර්බුදයට යනු ඇත. මෙය හුදු සිසුන්ගේ ගැටලුවක් නොව ජාතික ප්‍රශ්නයක් ලෙස ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව ලෙස අපි දකිමු.

මෙම ගැටලුව නියමිත ගැඹුරින් විශ්ලේෂණය කොට සාකච්ඡා මාර්ගයෙන් ප්‍රායෝගික විසඳුමක් කරා වගකීම් සහිතව එළඹීම වෙනුවට වගකීම් විරහිතව උද්ධච්ච අන්දමින් හැසිරෙමින් සිසුනට පහරදෙමින් රජය ගෙනයන මර්ධන ප්‍රතිපත්තියට අපගේ දැඩි විරෝධය පළකරමු.
 
පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය තුලදී සිසු සිසුවියන් විශාල පිරිසකගේ ඔළු පලමින් සිදුකළ ම්ලේච්ඡ පහරදීම ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පිළිකුලෙන් යුතුව හෙළා දකියි. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සියළුම සිසුන් කොන්දේසි විරහිතව නිදහස්කරන ලෙස රජයට බලකර සිටිමු.

තවද වහා මෙම සිසු මර්ධනයත් වෘත්තීය සමිති මර්ධනයත් නතරකොට මෙම ගැටළු සඳහා සදාචාර සම්පන්න ලෙස සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් නොදෙන්නේ නම් සෑම ක්ෂේත්‍රයකම වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධව භීෂණයට හා මර්ධනයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බවද ප්‍රකාශ කර සිටිමු.

ස්තූතියි.

මෙයට, 
ඩී. ජේ. රාජකරුණා
කැඳවුම්කරු'