Saturday, October 19, 2024

General line - 0115112241

ගැබ්බර මුව දෙනකු ඝාතනය කළ දෙදෙනෙකු පොලිස් දැලේ

ජුඩ් සමන්ත - පුත්තලම




ගැබ්බර මුව දෙනක් ඝාතනය කර යතුරු පැදියකින් රැගෙන යමින් සිටිය දී සැකකරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ට සහාය වෙමින් තවත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකුව කරුවලගස්වැව වන ජීවී කාර්යාල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) රාත්‍රීයේ කරුවලගස්වැව තබ්බෝව වැව් තාවුල්ලේදී මෙම සැකකරුවන්  අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කරුවලගස්වැව - 8 කණුව පදිංචි 22 – 25 වියේ පසුවන බව වැටලීම සිදු කළ නිලධාරීන් සඳහන් කළා.

මුව දෙනට වෙඩි තැබීම සඳහා යොදා ගත් බෝර 12 ගිනි අවියක්ද වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති මුව දෙන කිලෝ ග්‍රෑම් 50 ක පමණ බරකින් යුක්ත බවත්,එම සතා ගැබ්බර බවට සැකකරන්නේ යැයි වන ජීවී නිලධාරීන් සඳහන් කළා.

තබ්බෝව රක්ෂිතයේ දී මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි වැටලීම කළ නිලධාරීන් පැවසුවා.

සැකකරුවන් තිදෙනාද,මුව දෙනට වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවියද පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කරුවලගස්වැව වනජීවි අඩවි ආරක්ෂක එම්. ඥානරත්න සමග වනසත්ව නියාමකවරුන් වන අජිත්,සොයිසා  රියදුරු ජගත්,සිවිල් ආරක්ෂක භටයන් වන අනුරුද්ධ,තරංග,පියතිස්ස,නිශාන්ත සහ රවීන්ද්‍ර යන නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කර තිබෙනවා.