Saturday, October 19, 2024

General line - 0115112241

නැන්දා ගෙනාපු කට්ටඩියා බෑනා එක්ක එකතු වෙලා නැන්දාට කළ දේ මෙන්න

අනුරාධපුර - පර්සි කුරුනේරු




අනුරාධපුර - මිහින්තලේ ප්‍රදේශයේ තරුණ කට්ටඩියෙක් සහ තවත් පුද්ගලයෙකු රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිය දියණියක් විසින් ඉදි කරගෙන යන නිවසක ඉදිකිරීම් කටයුතු විවධ හේතුන් මත ප්‍රමාදවීම නිසා එය කඩිනම් කිරීමට බහිරව පුජාවක් පැවැත්වීම සඳහා මිහින්තලේ මහකනදරාව බෝගහයාය ප්‍රදේශයේ පදිංචි පනස් හත් හැවිරිදි කාන්තාවක් මෙම තරුණ කට්ටඩියට සිට නිවසට පැමිණෙන ලෙස ඇරයුම් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී තරුණ කට්ටඩියා සහ එම කාන්තාවගේ තවත් දියණියක සමග විවාහ සිටින බෑනා කෙනෙකු ගෙහිමි කාන්තාව සතු රුපියල් තුන් ලක්ෂ තිස් දෙදහසක් පමණ වටිනා රන් භාණ්ඩ සහ රුපියල් පන් ලක්ෂ අනු පන්දහසක මුදලක් සොරකම් කරගෙන පලා ගොස් ඇති බවයි අදාළ කාන්තාව පොලිසියට පැමිණිළි කර තිබෙනවා.

ඒ අනුව කට්ටඩියා සහ අදාළ කාන්තාවගේ බෑනා යන දෙදෙනැ සැකපිට ඊයේ (11) මිහින්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සඳහන්.

පොලිසිය තරුණ කට්ටඩියා සහ පැමිණිලිකාරියගේ බෑනා අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන්  සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් විසින් පැමිණිලිකාරිය සතු අදාළ රන් භාණ්ඩ සහ මුදල් සොරකම්කර ඇති බව අනාවරණය කළා.

මෙසේ අත්අඩංගුවට ගත් විසිපස් හැවිරිදි  කට්ටඩියා සහ පැමිණිලිකාරියගේ තිස් හතර හැවිරිදි බෑනා මිහින්තලේ බෝගහයාය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වුණා.

මේ අතර පොලිසිය සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් විසින් සොරකම් කළ රන් භාණ්ඩ අලෙවි කළ සහ උකස් කළ ලදුපත් කීපයක්ද සිය භාරයට ගෙන තිබෙනවා.

පැමිණිලිකාරිය සිය සැමියා ,විවාහක දියණියන් තිදෙනා සහ ඔවුන්ගේ දරුවන් සමග එකම නිවසක පදිංචිව සිටින අතර එක් දියණියක් විසින් ඉදිකිරීම් කර ගෙන යනු ලබන නිවසේ ඉදි කිරීම් කටයුතු ප්‍රමාදවීම නිසා එය කඩිනම් කිරීමට බහිරව පුජාවක් පැවැත්වීම සඳහා  එම ප්‍රදේශයේම පදිංචිව සිටින තරුණ කට්ටඩියා තම නිවසට ගෙන්වා ගෙන ඇති බව සඳහන්.

තරුණ කට්ටඩියා බහිරව පුජාව පැවැත්වීමට පැමිණිලිකාරියගේ නිවසට පැමිණි පසු ඔහු සමග එක්වූ  සැකකාර බෑනා උපක්‍රමශීලිව සංවිධානය වී බාහිරව පුජාව පැවැත්වීමට පෙර නිවසේ ඇති සියලුම රන් භාණ්ඩ සහ මුදල් එක් ස්ථානයක තබන ලෙසට පැමිණිලිකාරිය ඇතුළු පවුලේ අනෙකුත් සාමාජිකයින් හට දන්වා තිබෙනවා.

ඒ අනුව ගෙහිමි කාන්තාව කටයුතු කර ඇති අතර අනතුරුව සැකකරුවන් දෙදෙනා විසින් රුපියල් තුන් ලක්ෂ තිස් දෙදහසක් පමණ වටිනා රන් මාල 04ක්, මුදු 05 ක්,වළලු 02 ක්,සහ රුපියල් පන් ලක්ෂ අනු පන් දහසක් මුදල්  සොරකම් කර පසුව සැකකාර කට්ටඩියා දේවාරුඩයෙන් මෙන් ව්‍යාජ පුජාවක් පවත්වා ඔවුන් විසින්ම නිවසේ වෙනත් ස්ථානයක සඟවා තිබු පවුම් අටක් බරින් යුත් රන් මාලයක්,පවුම් දෙකක අත් පළඳනාවක් සහ පවුමක බරින් යුත් වළල්ලක් තිබු ස්ථානය පවසා සොයා දී තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අද (12)අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටය නියමිතව තිබුණේ.