Friday, October 18, 2024

General line - 0115112241

"මව් භාෂාවට තියෙන ඇල්ම නැතිවීම මිනිසාගේ චින්තනයට බාධාවක්"

තරංග රුක්ෂාන් ජයසේකර




ලෝක මව් භාෂා දිනය අදට (21) යෙදී තිබෙනවා. සෑම වසරකම පෙබරවාරි මස 21 වැනිදා ලෝක මව් භාෂා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගනු ලැබුවේ 2008 වසරේ සිටයි.

ඊට ආසන්නතම හේතුව වූයේ ඉන්දියානු කලාපයේ භාෂාව මුල් කර ගනිමින් රාජ්‍යයන් දෙකක් එකිනෙකට වෙන් වීමයි. ඒ අනුව, භාෂාව මුල් කර ගනිමින් බංග්ලාදේශය සහ පකිස්තානය වශයෙන් රටවල් දෙකක් වෙන්වීම පදනම් කර ගනිමින් භාෂාවක ඇති බලය ලෝකය විසින් පිළිගනු ලැබීම මෙහිදී සිදුවුණා. 

අදවන් දිනෙක ශී‍්‍ර ලංකාවේ මව් භාෂාවට ඇති ස්ථානය පිළිබඳව නෙත් නිවුස් සොයා බැලීමක් කළා. කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් සඳහන් කළේ "ඉංග්‍රිසි භාෂාව ලෝක භාෂාවක්වීම තුළ අප සමාජයත් යම් ඥානයක් ලබා ගන්නවා. ඉංග්‍රිසි භාෂාව අද සමාජයේ දැනුම දියුණු කර ගැනීමේ උපකරණයක් වෙලා තියෙනවා. නමුත් ඉංග්‍රිසි භාෂාවෙන් ලෝකයම ජයගත හැකි බවට අප සමාජය කල්පනා කිරීම නිසා සිංහලයා සිය මව් භාෂාව කෙරෙහි ඉතා උදාසීන තත්ත්වයක් තමයි දක්වන්නේ. මේ නිවට චින්තනය නිසා මව් බසට තියෙන ඇල්ම ජනවර්ගයා විසින් අමතක කරමින් යනවා." යනුවෙනි.

මව් භාෂාවේ වැදගත්කම පාසල් පද්ධතියට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

රටක් ලෙස මව් භාෂාව සුරැකීමේ වැදගත්කමද කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් මෙලෙස පැහැදිළ කලා.

"ඕනෑම රටක මව් භාෂාව ඒ රටේ..ජාතියේ දියුණුවට අදාළ වෙනවා. මව් භාෂාවට තියෙන ඇල්ම නැතිවීම මිනිසාගේ චින්තනයට කෙරෙන බාධාවක්. මොකද තමන්ගෙ මව් බසින් තමයි හිතන්න පුළුවන් වෙන්නේ. හිතෙන දේ වඩාත් පැහැදිළිව ප්‍රකාශයට පත් කරන්න මව් බස තරම් වෙනත් බසකට බෑ."

ජාත්‍යන්තර මව්භාෂා දිනය සැමරීම වෙනුවෙන් මෙරට පවත්වන විශේෂ උත්සවය අද (21) පෙරවරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.