Saturday, September 21, 2024

General line - 0115112241

සිය ගුණයකින් දඩය වැඩි කිරීමේ නීතිය සැකසෙද්දී ජොන්ස්ටන්ට එරෙහි නඩු 05ක් එකම දිනයක අහන්න නියෝගයක්!

චම්ලි ඒකනායක




 

අඛණ්ඩව වසර 5ක කාලයක් වත්කම හා බැරකම් ප්‍රකාශ ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩු 5ක් ජූලි මස 23 දා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළා.

නෙත් නිව්ස් අධිකරණ වාර්තාකරු පැවසුවේ මෙම නඩු සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට  හිටපු ජනාධිපති ලේකම් පි.බි.අබේකෝන්ද ඉදිරියේ කැඳවීමට බලාපොරොත්තු වන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්බවයි.

2010 වර්ෂයේ සිට 2014 දක්වා කාලයේ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කිරීමට අපොහොසත් වු බවට අල්ලස් කොමිසම හිටපු අමාත්‍යවරයා ට එරෙහිව නඩු පවරා ඇත. හිටපු අමාත්‍යවරයා මේ නඩු සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටිනවා.

නියමිත පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීම පැහැර හැරීම, එවැනි ප්‍රකාශයක අසත්‍ය තොරතුරු සඳහන් කිරීම හෝ අවශ්‍ය විටෙක අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී අවස්ථාවන්හිදී නීතියෙන් වරදකරු කෙරෙන තැනැත්තෙකුට නියම වන දඬුවම රුපියල් 1,000 නොවැඩි දඩයක් සහ/හෝ වසරකට නොවැඩි කාලයක සිර දඬුවමකි.

නමුත් මෙම දඩ මුදල වැඩි කළ යුතු බවට ගෙන ආ අමාත්‍ය මණ්ඩල යෝජනාවක් සම්මත වී තිබෙනවා. ඒ අනුව නියමිත පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීම පැහැර හැරීම, එවැනි ප්‍රකාශයක අසත්‍ය තොරතුරු සඳහන් කිරීම හෝ අවශ්‍ය විටෙක අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී අවස්ථාවන්හිදී නීතියෙන් වරදකරු කෙරෙන තැනැත්තෙකුට නියම වන දඩ මුදල රුපියල් 100,000 දක්වා වැඩි කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී වරදකරුවකුට හිමිවන දඩ මුදල සිය ගුණයකින් ඉහළ යනු ඇත.

2017 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම අමාත්‍ය මණ්ඩල තීරණය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබුවා.

මෙම වරදට වරදකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වසර තුනක් සඳහා රුපියල් 3000ක දඩයක්ද, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට වසර දෙකක් සඳහා රුපියල් 2000ක දඩයක්ද මීට පෙර නියමකොට තිබෙනවා.