Saturday, September 21, 2024

General line - 0115112241

අල්ලසට එරෙහිව දැඩි තීන්දු ගන්නා බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්

මේනකා රත්නායක




රාජ්‍ය සේවකයින් මෙන්ම සියලූ අංශවල තිබෙන දුෂණය සහ අල්ලස වැළැක්වීමට රජයක් ලෙස ගත යුතු සියලූ තීන්දු තීරණ නොපැකිලවම ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. අල්ලස සහ දුෂණය වෙනුවෙන් කිසිදු භේදයකින් තොරව සහ කිසිවෙකුට සමාවකින් තොරව නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අද (05) පැවති ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. 

මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අත්අඩංගුවට ගනු ලැබූ තමාගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සේවයට පැමිණ ගතවුයේ මාසයකට අඩු කාලයක් බවයි. එමෙන්ම ඔහු සමග අත්අඩංගුවට පත් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා මිට පෙර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපැතිව සිටි සමයේ එතුමියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසට කටයුතු කල බවයි. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාද මෙවැනි දුෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයෙන් ඇප ලබා සිටින බවයි. 

රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්වීම වෙනුවෙන් තමන් කිසිදු භේදයකින් තොරව සියලූ තීන්දු තීරණ ගත් බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ජනතාවගේ වෛරයට, ද්වේශයට, පිළිකුලට ලක්වන ආකාරයට දේශපාලකයා සහ රාජ්‍ය නිලධාරින් වැඩ නොකළ යුතුයි. තමන් ඇමතිවරයෙක් ලෙස මෙන්ම ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කිරීමට ආරම්භ කිරිමෙන් පසුවත් අල්ලස, දුෂණය සහ රාජ්‍ය දේපල අවභාවිතාවට එරෙහිව කටයුතු කල බව පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් සෙවීමට පත් කල ජනාධිපති කොමිසම හරහා ඉදිරියේදී තවත් වැදගත් තොරතුරු රැසක් හෙළි කරනු ඇති බව කියා සිටියා.