Saturday, September 21, 2024

General line - 0115112241

ලෙස්ටර්ගේ රණමයුර පදක්කම සොරාගත් කල්ලියේ තවත් කෙරුම් හෙළිවෙයි (PHOTOS)

ලහිරු කපුගේ




ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රණ මයුර පදක්කම සොරාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හය දෙනෙකුගෙන් යුත් කල්ලිය සිදු කළ තවත් සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය අද (07) කරුණු අනාවරණ කළා. ඒ, බම්බලපිටිය පොලිස් ස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි. රණමයුර පදක්කම සොරාගත් මෙම කල්ලිය අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මෙලෙස විස්තර කළා. 

මෙම සොරකම සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදුකල පොලිස් නිළධාරින් විසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ නිවස දෙපස පිහිටි නිවාස වල තිබු සිසිටිවී කැමරා පරික්ෂා කිරීමේදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් නිරීක්ෂණය කර ඇති අතර එම ත්‍රිරෝද රථයේ හිමිකරු කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්න කිරීම් වලදී සෙසු සැකකරුවන් ගැනද හෙළිදරව් කර ඇති අතර පසුව ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි. මෙම 6 දෙනාගේ කල්ලිය විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තිබෙන ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අවමංගල උත්සව වලට සහභාගී වී මෙලෙස භාණ්ඩ සොරා ගැනීමේ කටයුතු වල නිරතව සිට ඇති බවට විමර්ෂණයේදී කරුණු අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේදී සොරාගත් රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකතනය රුපියල් 4000කට අලෙවි කර තිබියදී සොයා ගැණුනු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රණ මයුර පදක්කම සොරාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 06 දෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද පස්වරුවේ නියෝග කෙරුණා.