Tuesday, December 31, 2024

General line - 0115112241

ඩොනල්ඩ් රණවීරගේ හිස ඇතුළු ස්ථාන කිහිපයක වෙඩි උණ්ඩ 08ක්

ලලිත් චාමින්ද




වෙඩිතබා ඝාතනය කරණු ලැබු කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාගේ හිසට, මුහුණට, උදරයට සහ පපු ප්‍රදේශයට ඇතුළු සිරුරේ ස්ථාන කිහිපයකට වෙඩි උණ්ඩ 08ක්පමණ වැදී ඇති බව හඳුනාගෙන ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පැවසුවා.

හෘදය වස්තුවට, අක්මාවට, සුසුම්නාවට, මොළය ඇතුළු අවයවවලට වෙඩි වැදීමෙන් වු බරපතල තුවාල  නිසා උප සභාපතිවරයාගේ මරණයට හේතුවී ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේ දී තහවුරු වි ඇති බවද පොලිසිය සඳහන් කළා.

ඝාතනය කරණු ලැබු උප සභාපතිවරයාගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය  නිලධාරි  උත්පලා ගුණරත්න මහත්මිය විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදු කරණු ලැබුවා.

උප සභාපතිවරයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත්  වජිරා පොන්නම්පෙරුමගේ නියෝගයකට අනුව කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ආ බවද පොලිසිය පැවසුවා.

ඝාතනය කරණු ලැබු උප සභාපති ඩොනල්ඩ් රණවීර දරුවන් තිදෙනෙකුගේ පියෙක්.  මෙකී ඝාතන සිද්ධියේ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බව පවසන ඌරගස්මංහන්දිය පොලිසිය ඝාතනය සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයකු අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට පත් පුද්ගලයා විසිදෙහැවිරිදි වියේ පසුවු අයෙක්. වෙඩි තැබීමෙන් පසු මොවුන් දෙදෙනා පලායමින් සිටියදී අපරාධය සිදු වූ ස්ථානයේ සිට මීටර් 50ක් පමණ දුරකදී අනතුරට ලක්ව තිබෙනවා. වෙඩි වැදුණු කැබ් රථයේ රියදුරා රථය ධාවනය කර එම අනතුර සිදු කළ බවටද වාර්ථා පළවන අතර යතුරුපැදිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව ලිස්සා යෑමෙන් මෙම අනතුර සිදු වූ බවටද වාර්ථා පළ වනවා. කෙසේවෙතත් අනතුරෙන් පසු එක් අයෙකු ප්‍රතිකාර ගැනීම සඳහා ඌරගස්මංහන්දිය රෝහලට ඇතුළත්වීමට පැමිණ අවස්ථාවේ දී අත්ඩංගුවට ගැණුනා.

පුද්ගලික ආරවුලක් නිසා මෙම ඝාතනය සිදුවී ඇති බවද පොලිසිය විශ්වාස කරනවා. උප සභාපතිවරයා ඝාතනය කළ ස්ථානයේ තිබි මැගසින් එකක්, ජංගම දුරකථනයක් හා ඝාතකයින් පැමිණි යතුරුපැදිය පොලිසිය මගින් සොයා ගත්තා. 

කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඩොනල්ඩ් රණවීර මංගල උත්සවයකට සහභාගී වී ආපසු නිවස බලා එමින් සිටියදී ඌරගහ කොරටියන හන්දිය අසලදී වෙඩි ප්‍රහාරයට ලක්වුණා.

ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති සුජිත් ප්‍රියන්ත ඇතුළු නිලධාරින් විසින් මේ සම්බන්ධ වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

(මේ සම්බන්ධ මීට පෙර පුවත් මෙතැනින්)