Saturday, September 21, 2024

General line - 0115112241

පැය 8කදී කඩුලු 21ක් බිඳවැටේ




සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 237කට සීමා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

අද (05) දිනයේ තරගය ආරම්භ කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2කට ලකුණු 54ක් ලබා සිටියා.

ඕස්ට්‍රේලියානු ඉණිමේ 34 වන පන්දු වාරයේදී ඔවුන්ගේ ඉණිම ලකුණු 106කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා කඩුලු 4බැගින් දවා ගත්තා. හේරත් ලබාගත් කඩුලු 4තුළ පිට පිට කඩුලු 3ක් දවා ගැනීමේ අවස්ථාවක්ද සටහන් වුණා.

ඉන් අනතුරුව සිය දෙවන ඉණිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ කෞෂාල් සිල්වා සහ දිමුත් කරුණාරත්න ඉතා සාර්ථක ලෙස මෙම ඉණිමේත් පිළිවෙලින් ලකුණු 2කට සහ 7කට දැවී ගියා.
ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 64ක් ලබාගත් දිල්රුවන් පෙරේරායි. ඇන්ජලෝ මැතිවුස් ලකුණු 47ක් ලබාගත් අතර කුසල් ජනිත් පෙරේරා 35ක් සහ ධනංජය සිල්වා ලකුණු 34ක් වාර්තා කළා.

ශ්‍රී ලංකා ඉණිම සීමා වූයේ ලකුණු 237කටයි. ඒ අනුව ඕස්ට්‍රේලියාවට ලකුණු 413ක ඉලක්කයක් හිමිවුණා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය දෙවන ඉණිම සඳහා පන්දුවට පහරදීමට යළි පිටියට පැමිණි අතර මේ වන විට ඕස්ට්‍රේලියාවේ එක් කඩුල්ලක් බිඳ වැටී තිබෙනවා. ඒ අනුව දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ අද (05) මේ වන විට කඩුලු 21ක් ගාලු තණතීරුව තුළ බිඳ වැටී තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉණිම වෙනුවෙන් ලකුණු 281ක් රැස්කළ අතර ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ පළමු ඉණිමට ලකුණු 106කට සීමා වුණා.

දෙවන ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 237කට සීමා වූ අතර ලකුණු 413ක ඉලක්කයක් හඹායන ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන දිනයේ තරගය නතරකරන විට ලකුණු 25කට කඩුලු 3ක් බිඳවැටී සිටියා.