Saturday, September 21, 2024

General line - 0115112241

ඓතිහාසික සිංහ – කැන්ගරු දෙවන සටනේ ක්‍රිකට් පොතට එක්වූ සියලු වාර්තා මෙන්න




සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 229කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ තරඟ 3කින් සමන්විත ටෙස්ට් තරඟවාලියේ ජයද හිමි කරගනිමින්.

කෙසේ වෙතත් නිමාවූ තරඟය ඉතිහාසයට එක්වූයේ ක්‍රිකට් පොතට නව වාර්තා රැසක් බිහිකළ තරඟයක් ලෙසින්.

මෙය 1999න් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරඟවලියක් ජයක් ලැබූ අවස්ථාව වනවා.එහිදීද ශ්‍රී ලංකාව ජයගෙන තිබුණේ එක් ටෙස්ට් තරඟයක් පමණයි.පිට පිට ටෙස්ට් තරඟ 2ක් ජයග්‍රහණය කර ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරඟාවලියක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වනවා.

තරඟයේ ඔස්ට්‍රේලියානු ප්‍රථම ඉනිම 106 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර එය ටෙස්ට් තරඟයකදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් ශ්‍රී ලංකාව හමුවේ වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව වනවා

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් ඇඩම් වොජස්, පීටර් නෙවිල් සහ මිචෙල් ස්ටාර්ක් දවාගනිමින් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් අතර ටෙස්ට් තරඟවලදී කඩුලු ත්‍රිත්වයත් ලබාගත් ලොව වයස්ගතම ක්‍රීඩකයා ලෙස රංගන හේරත් වාර්තා පොත් අතරට එකතු වුණා.

එමෙන්ම  ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟවලදී කඩුලු 50ක් ලැබා ගැනීමට ද හේරත් මෙහිදී සමත් වු අතර මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඕසට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් කඩුලු 50 ලබාගත් දෙවන ක්‍රීඩකයා ලෙස ද හේරත් වාර්තා පොත් අතරට එකතු වුණා.

තරඟයේ වීරයා සම්මානය හිමිකරගත් දිල්රුවන් පෙරේරා වාර්තා පොත් අතරට එකතු වූයේ ටෙස්ට් තරඟයකදී කඩුලු 10ක් සහ අර්ධ ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසයි

ඔහු පළමු ඉනිමේ කඩුලු 4ක්ද දෙවන ඉනිමේ කඩුලු 6ක්ද, දෙවන ඉනිමේදී පිත්තෙන් ලකුණු 64ක්ද ලබාගැනීමට සමත් වුණා.

එමෙන්ම වේගවත්ම ටෙස්ට් කඩුලු 50 ලබාගැනීමේ ශ්‍රී ලංකා වාර්තාවද තමන් සතු කර ගැනීමට ඔහු මෙම තරඟයේදී සමත් වුණා.ඔහු ටෙස්ට් කඩුලු 50 ලබාගත්තේ ටෙස්ට් තරඟ11කින්.

පළමු ඉනිමේ කඩුලු 5ක්ද දෙවන ඉනිමේ කඩුලු 6ක්ද දවාගත් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් වාර්තා පොත් අතරට එක් වූයේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නේක් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරඟයක යැවූ හොඳම පන්දු යැවීම ලෙසින්.ලකුනු 94ට කඩුලු 11 දවාගත් මෙය ඔහුගේ පෞද්ගලික හොඳම පන්දු යැවීමද වනවා.