Saturday, September 21, 2024

General line - 0115112241

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ජනපතිට හදිසි ලිපියක්




සෞඛ්‍ය අමාත්‍යාංශයට තවත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල ඇතුළු වෛද්‍ය පරිපාලන නිළධාරීන් 14 දෙනෙකු විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවා තිබෙනවා.

ඔවුන් අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ සෞඛ්‍ය සේවයට තවත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු අවශ්‍ය නොවන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා මූල්‍ය හා ගිණුම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමේ තීරණය ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඔවුන් සිය ලිපිය මගින් ඉල්ලා තිබෙනවා.

සතියක් ඇතුලත ඊට අවස්ථාව ලබාදෙන ලෙසයි ඔවුන් සිය ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ. වෛද්‍ය පරිපාලන ශ්‍රේණි එකමුතුව නමින් අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

දීර්ඝ කාලයක සිට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ වෛද්‍ය පරිපාලක, ශ‍්‍රී ලංකා පරිපාලන සේවය සහ ගණකාධිකාරී සේවයේ නිළධාරීන් එකමුතුව සහ සමගිව සිය රාජකාරිය ඉටු කළා.

එහෙත් කිසියම් අවශ්‍යතාවයක් මත එම තත්ත්වය නැති කිරීමේ උත්සාහයක් කි‍්‍රයාත්මක වෙමින් පවතිනවා. කෙසේවෙතත් සෞඛ්‍ය සේවයේ දියුණුවට බාධා කරන ඕනෑම වැඩපිළිවෙලකට එරෙහිව වෘත්තීය කි‍්‍රයාමාර්ග අනුගමනය කිරීමට පසුබට නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල ඇතුළු පරිපාලන නිළධාරීන් 14 දෙනෙකු විසින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ දැක්වෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 04 කට මූල්‍ය හා ගිණුම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරුන් පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රජයේ ගණකාධිකාරී සේවයේ සිටින වෘත්තීය සුදුසුකම් සහිත ගණකාධිකාරීවරුන් එලෙස පත් කෙරෙනු ඇති.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ප‍්‍රකාශ කළේ වසරකදී රුපියල් බිලියන සියයකට වඩා වැඩි මුදලක් වියදම් කරන අමාත්‍යාංශ සඳහා මෙලෙස මූල්‍ය හා ගිණුම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරුන් පත් කරන බවයි.