Friday, March 29, 2024

General line - 0115112241

Uber ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමග අත්වැල් බැඳගනී : පීඩාවට පත් ජනතාවට වියළි ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබාදීමට ඩොලර් 200,000 ක් පරිත්‍යාග  කරයි




Uber Sri Lanka මෙරට ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක් පරිත්‍යාග කරන බව පසුගියදා නිවේදනය කළේ ය. රට පුරා අත්‍යාවශ්‍ය  ආහාර හා ඖෂධ බෙදාදීම සඳහා මෙම අරමුදල් භාවිතා කෙරෙනු ඇත.

මේ යටතේ Uber රියදුරන් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන් ඇතුළුව 10,000 කට අධික පිරිසකට, සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට ප්‍රමාණවත් වියළි ආහාර ද්‍රව්‍ය මලු හිමිවනු ඇත. 

මීට අමතරව 30,000 කට අධික පිරිසකට සේවාවන් සලසන ග්‍රාමීය රෝහල් 15 කට අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමටද කටයුතු යොදා තිබේ. මෙම ඖෂධ සහ උපකරණ සෘජුවම ජාත්‍යන්තර සැපයුම්කරුවන් වෙතින් මිලදීගනු ලබනු ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින Uber කලාපීය සාමාන්‍යාධිකාරී (ආසියා පැසිෆික් කලාපය) සස්කියා ද ජෝන් මහත්මිය සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ සභාපති ජගත් අබේසිංහ මහතා විසින් මෙම හවුල්කාරීත්වය නිල වශයෙන් නිවේදනය කරන ලදි. 

මෙම අවස්ථාවට Uber Sri Lanka සාමාන්‍යාධිකාරී භාව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය සහ ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ ශාඛා විධායක නිලධාරිනී කුමාරි කොතලාවල මහත්මියද එක්වූහ.

“ශ්‍රී ලංකාව ඇතුළුව අප ව්‍යාපාර කටයුතු සිදුකරන රටවල ප්‍රජාවන්ට අත්වැලක් වීමට අප සෑම විටම උත්සාහ කරනවා. ශ්‍රී ලංකාවේ මේ මුහුණ දෙමින් සිටින්නේ ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයකට බව පැහැදිලියි. එම නිසා මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සමග එක්වී මෙවැනි සත්කාරයක් සිදුකිරීමට හැකිවීම අපට සතුටක්. ශ්‍රී ලංකාවත් එහි ජනතාවත් ඉතා ශක්තිමත් නිසා මෙම අභියෝග ජයගනිමින් පෙරටත් වඩා ධෛර්ය සම්පන්න ලෙස නැගී සිටීමට ඔවුන්ට හැකිවනු ඇති බවට සැකයක් නැහැ.” Uber කලාපීය සාමාන්‍යාධිකාරී (ආසියා පැසිෆික් කලාපය) සස්කියා ද ජෝන් මහත්මිය පැවසුවා ය.

“ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා Uber දියත් කර ඇති මෙම වැඩසටහන ඉතාමත් කාලෝචිත වැඩසටහනක්. මේ දක්වා එවැනි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඉටුකර ඇති මෙහෙවර නිසා, මෙම නව වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා Uber අප කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. මේ අවස්ථාවේදී මෙවැනි හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීම අතිශයින් වැදගත්.” ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ සභාපති ජගත් අබේසිංහ මහතා පැවසී ය.

COVID-19 රෝග ව්‍යාප්තිය ආරම්භ වූ පසුව ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගැනීමට අත්වැලක් වීම සඳහාද Uber Sri Lanka සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව කටයුතු කළේ ය. ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්, වැඩිහිටියන් සහ ඉහළ අවදානමකට මුහුණ පා සිටි අනෙකුත් පුරවැසියන් එන්නත් මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා Uber Sri Lanka විසින් ශ්රී ලංකා රතු කුරුස සමාජය වෙත ගමන් වාර 50,000 ක් පරිත්‍යාග කරන ලදි.

Uber පිළිබඳව   :
             
Uber සතු දැක්ම වන්නේ සංචලනය ඔස්සේ ප්‍රගමනය සාක්ෂාත් කරගැනීමයි. 2010 වසරේදී, මගීන්ට හුදෙක් දුරකථනයක බොත්තමක් ස්පර්ශ කිරීම මගින් ප්‍රවාහන මාධ්‍යයක් සොයා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා Uber ආරම්භ විය. මේ වනවිට Uber ගමන් වාර බිලියන 15 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇති අතර, ප්‍රවාහන විසඳුම් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා අතිනවීන විසඳුම් හඳුන්වා දෙමින් සිටී. ජනතාව පමණක් නොව ආහාරපාන හා භාණ්ඩ සම්බන්ධයෙන්ද සුවිශේෂී ප්හරවාහන විසඳුම් සපයන Uber සේවා පදනම ලෝකයට නව අවස්ථා රාශියක් විවර කරදීමට සමත් වී ඇත.

ශ්‍රී  ලංකා රතු කුරුස සමාජය පිළිබඳව:

1936 සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මෙරට විශාලතම මානුෂීය සංවිධානයයි. දිස්ත්‍රික්ක 25 ක් පුරා ව්‍යාප්ත වූ පුළුල් ස්වේච්ඡා සාමාජික ජාලයක් සහිත එම සංවිධානයේ අරමුණ වන්නේ අවදානම් වලට ලක්විය හැකි ප්‍රජාවන් තුළ අභියෝග වලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කරවීම සහ, ආපදා, හදිසි අවස්ථා සහ සමාජ බහිෂ්කරණයන්ට ලක්වන්නන් උදෙසා  ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම ය.