Friday, April 26, 2024

General line - 0115112241

රටේ ඩොලර් නැති කළ තවත් ව්‍යාපෘතියක් ගැන හෙලිවෙයි




අමෙරිකානු ඩොලර් මිලියන 33ක් වැය කර මෙරටට ආනයනය කළ කිරි ගවයන්ගෙන් සියයට 90කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබියදීත් තවත් කිරි ගවයින් පිරිසක් ආනයනය කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 11 යි දශම බින්දුවයි 9 ක මුදලක් වැය කර ඇති පුවතක් මේ වන විට වාර්තා වනවා.

2018 වසරේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට කිරි ගවයන් ආනයනය කිරීමට අත්තිකාරම් මුදල් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 11 යි දශම බින්දුවයි 9ක මුදලක් වැය කළද සතුන් ලබාගැනීමක් හෝ එම මුදල් අයකරගැනීමට කටයුතු කිරීමක් තවම සිදු වී නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ 2017 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කර බැලීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි. එහිදී අනාවරණ වී ඇත්තේ වෙලාඩ් ව්‍යාපෘතිය යටතේ  එම මුදල අත්තිකාරම් ලෙස ගෙවා ඇති බවයි.

එමෙන්ම 2012, 2013 සහ 2015 වර්ෂවලදී අමෙරිකානු ඩොලර් මිලියන 33 යි7 ක් වැයකොට ඕස්ටේ්‍රලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයන් 4,495න් 3,991ක් මියගොස් ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා. මේ අනුව විගණකාධිපතිවරයාට මේ පිළිබඳ විශේෂ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙසටයි නිර්දේශ කර ඇත්තේ.