Sunday, September 8, 2024

General line - 0115112241

චීනය පිලිපීනයට තර්ජනය කරයි

චිරාන් ධර්මසේන




චීන වෙරළාරක්ෂක බලකාය පිලිපීනයට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ දකුණු චීන මුහුදේ මතභේදාත්මක ගල්පර  කලාපය තුළට පිලිපීන නෞකා 03 ක් ඇතුළු වීමත් සමගයි.

පිලිපීන නෞකා ඇතුළු වී ඇත්තේ අනවසරයෙන් බව චීනය චෝදනා කරනවා.

"ඕනෑම ආකාරයක උල්ලංඝනයක් සහ ප්‍රකෝප කිරීමක් නිෂ්ඵල බව පිලිපීනයට නැවත වරක් මතක් කිරීමට අපි කැමැත්තෙමු. චීනයේ භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් සහ අවශ්‍යතා අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීම සඳහා චීන වෙරළාරක්ෂක බලකාය පූර්ණ සීරුවෙන් සිටී.” යනුවෙන් චීන වෙරළාරක්ෂක බලකාය පිලිපීනයට දැනුම් දී තිබෙනවා.

එම බලකායට අනුව පිලිපීන යාත්‍රා තුනක් අනතුරුදායක ලෙස ළඟා වී හිතාමතාම චීන මුහුදට ඇතුල් වීමේදී සාමාන්‍යයෙන් යාත්‍රා කරමින් සිටි චීන නැව් සමඟ ගැටී තිබෙනවා.

එහෙත් පිලිපීනය එම චෝදනා ප්‍රතික්ෂේප කළා.

පිලිපීනය පවසන්නේ දකුණු චීන මුහුදේ බලය පතුරුවා සිටින චීනය සිය නෞකා සඳහා පහර දෙන බවයි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම චීන වෙරළාරක්ෂකයින් පිලිපීන නෞකා සහ ධීවර යාත්‍රා සඳහා ජල ප්‍රහාර එල්ල කර තිබුණා.

දකුණු චීන මුහුදු කලාපය සහ එහි පිහිටි දූපත් කිහිපයකටම චීනය තනිව අයිතිය කියාපානවා.

එහෙත් ඊට විරුද්ධ අසල්වැසි රටවල් කිහිපයක්ම නැගී සිටින අතර ජපානය සහ පිලිපීනය ද එම ලැයිස්තුවට අයත්.