Saturday, September 21, 2024

General line - 0115112241

වෙසක් උළෙල මගින් රටවල් අතර මිත‍්‍රශීලි සබඳතාව වර්ධනය වුණා - ජනපති




ශ‍්‍රී ලංකාවේ පැවති එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් දින උළෙල මගින් බෞද්ධ ජනතාව වෙසෙන ලොව පුරා සියලූ රටවල් සමග පවත්නා මිත‍්‍රශීලී සබඳතාව තහවුරු කර ගැනීමට හැකි වූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

වෙසක් දින උළෙල සාර්ථක කර ගැනීමට සහය දුන් සැමට ස්තූතිය පල කරමින් ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් දින උළෙල මෙරට පැවැත්වීමට ලැබීම සුවිශේෂී ජයග‍්‍රහණයක් බවයි. 

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සමාරම්භක සභාපති මහාචාර්ය ගුණපාල මලලසේකරගේ සහ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර්ගේ මෙහෙවර පිළිබඳව ද ගෞරවයෙන් සිහිපත් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා. 

ඒ වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කර ගැනීමට ඉටුකරන ලද මෙහෙවර ගෞරවයෙන් සිහිපත් කරමින්. 
බුදුරාජණන් වහන්සේගේ ඉගැන්වීම් පදනම් කරගත් බෞද්ධ දර්ශනය තුළින් මනුෂ්‍ය ප‍්‍රජාව වෙත උරුමකර දුන් නිරාමිශ සුවය හා ශික්ෂණය ප‍්‍රචලිත කිරීමේ භාග්‍ය මෙම උත්සවය මගින් උදා වූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

ජනාධිපතිවරයා කියා සිටියේ ථේරවාදී බෞද්ධ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව වෙත පැවරී ඇති උත්තරීතර වගකීම ද ඒ මගින් සංකේතවත් වූ බවයි.