Tuesday, April 23, 2024

General line - 0115112241

යූනියන් ඇෂුවරන්ස් මහා පරිමාණ සමාගම් කාණ්ඩය යටතේ GPTW සම්මාන දිනූ එකම රක්ෂණ සමාගම බවට පත්වෙයි




යූනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව 9 වන වරටත් Great Place to Work සම්මාන උළෙලේදී, ආසියානු කලාපයේ රැකියාව කිරීමට සුදුසුම ස්ථානයක් ලෙස ඇගයීමට ලක්විය. 2021 නොවැම්බර් 16 දින පැවති එම සම්මාන උළෙලේදී මහා පරිමාණ සමාගම් කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගැනීමට යූනියන් ඇෂුවරන්ස් සමාගමට හැකියාව ලැබිණි. ඒ අනුව යූනියන් ඇෂුවරන්ස්, මෙම කාණ්ඩයේ ඉහළම සමාගම් 3 අතරට එක්වීමට සමත් වූ එකම ශ්‍රී ලාංකික රක්ෂණ සමාගම බවට පත්වී තිබේ.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා මෙසේ පැවසී ය. “COVID-19 ව්‍යාප්තියත් සමග, විශේෂයෙන්ම දුරස්ථ ක්‍රමයට රාජකාරි කිරීම ආරම්භ කිරීමෙන් පසුව, ආයතනය සහ කාර්ය මණ්ඩලය අතර සමීප සම්බන්ධතා පවත්වා ගැනීම එක්තරා ආකාරයක අභියෝගයක් වුණා. මෙහිදී එක් අතකින් කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුරක්ෂිත සහ, ඔවුන්ගේ වෘත්තීය දියුණුවට අවස්ථාවන් සලසන රැකියා පරිසරයක් පවත්වාගෙන යන අතරම ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා වැඩියෙන් අපට දැනුණා. මෙහිදී අප ගත් ප්‍රධානතම පියවරක් වූයේ, වසංගත රෝග ව්‍යාප්තිය දැඩිව පැවති අවස්ථාවේදී, කාර්ය මණ්ඩලයට සිය පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන, සුදුසුකම් ලත් මනෝ උපදේශකවරුන්ගේ සහය ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමයි. එමෙන්ම ඔවුන්ට COVID-19 සම්බන්ධ පරීක්ෂණ, උපදේශන සේවා සහ රෝහල්ගත වීම් ආදිය සඳහා අවශ්‍ය සහයෝගයන් ලබාදීමටත් අප කටයුතු සම්පාදනය කළා. අනපේක්ෂිත අභියෝග වලට මුහුණ දීමට සිදුවූ විට අප ඒ අභියෝග වලට ගැළපෙන විසඳුම් සොයාගත යුතුයි. ඒ නිසා සම්මත රාමුවෙන් ඔබ්බට යමින්, මේ දුෂ්කර කාලසීමාවේදී අපගේ කාර්ය මණ්ඩලයට අත්වැලක් වීමට අවශ්‍ය විධිවිධාන යෙදීමට අප පියවර ගත්තා. මේ ආකාරයට මහා පරිමාණ සමාගම් කාණ්ඩය තුළ ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. මෙහි ගෞරවය අපගේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් වෙත හිමි විය යුතුයි.”

කාර්ය මණ්ඩලයේ සක්‍රීය දායකත්වය ලබාගනිමින්, නවෝත්පාදන දිරිගන්වන රැකියා පරිසරයක් පවත්වාගෙන යාම, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වී තිබේ. කාර්ය මණ්ඩලයේ වෘත්තීය දියුණුව සම්බන්ධයෙන් සමාගම දැඩි ලෙස අවධානය යොමුකර ඇති අතර, එහි එක් පියවරක් වශයෙන්, කාර්ය මණ්ඩලයේ විශිෂ්ටයන්ට වඩාත් ඉක්මනින් නායකත්ව තනතුරු වෙත පිවිසීමට අත්වැලක් වීම සඳහා STEP (Striving To Excellence Programme) වැඩසටහන හඳුන්වා දෙන ලදි. මෙම වැඩසටහනට සහභාගී වන සාමාජික සාමාජිකාවන්ට, ආයතනික කළමනාකාරීත්වය සමග සමීපව කටයුතු කිරීමටත්, විශේෂ ව්‍යපෘති වලට සම්බන්ධ වීමටත්, ආයතනයට ආදර්ශයක් වන විවිධාකාර ක්‍රියාකාරකම් වල නිරත වීමටත් අවස්ථාව හිමි වේ.

දුරස්ථ ක්‍රමයට රාජකාරි කළද කාර්ය මණ්ඩලයේ උද්යෝගය නොවෙනස්ව පවත්වාගැනීම සඳහා නිරන්තරයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම කටයුතු කළේ ය. කාර්ය මණ්ඩලයේ වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර සමබරතාව පවත්වා ගැනීමට අත්වැලක් වීම සඳහා මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. ආයතනයේ නවතම තොරතුරු සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා නිතිපතා ඩිජිටල් රැස්වීම් පවත්වන ලද අතර, ඔවුන්ගේ සතුට වෙනුවෙන් විවිධාකාරයේ විනෝදාත්මක වැඩසටහන්ද සංවිධානය කරන ලදි.

පාරිභෝගික-කේන්ද්‍රීයත්වය, නවෝත්පාදනය සහ ඉගෙනුම් අවස්ථා කෙරෙහි යූනියන් ඇෂුවරන්ස් ආයතනික සංස්කෘතිය තුළ ප්‍රමුඛත්වය හිමිවන අතරම, තම දැක්ම, මෙහෙවර හා වටිනාකම් ඔස්සේ කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් සෑම විටම අවශ්‍ය පියවර ගැනීම හේතුවෙන්, මෙලෙස නැවත වරක් Great Place to Work ඇගයීමෙන් පිදුම් ලැබීමට සමාගමට හැකි වී තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන  ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා 82 ක් විවෘත කර තිබේ. එම සමාගම 2021 ජූනි මාසය වන විට රු. බිලියන 16.6 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 45.3 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 300% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කර ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.