Friday, October 18, 2024

General line - 0115112241

බැක්ටීරියාවක්  නිසා ජපානයේ මියගිය පිරිස තවත් ඉහළට 




පැය 48ක් ඇතුළත මිනිසුන් මරණයට පත් කළ හැකි බැක්ටීරියාවක් වැළඳුනු පුද්ගලයින් ගණන ජපානයේ ඉහළ යමින් පවතිනවා. 

මෙම බැක්ටීරියාව “මස් අනුභව කරන මාරාන්තික බැක්ටීරියාවක් බවයි විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ.

බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් 1,000 කට ආසන්න පිරිසක් ජපානයෙන් වාර්තා වී ඇති බවට සඳහන්. 

ජපානයේ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය පවසා ඇත්තේ එම බැක්ටීරියා අසාදනය වූ රෝගීන් 941 දෙනෙකු පසුගිය වසර තුළදී ජපානයෙන් වාර්තා වී ඇති අතර මෙම වසරේ ජුනි මාසය දක්වා කාලය තුළදී පමණක් බැක්ටීරියාව අසාදනය වූ රෝගීන් 1,000ක් පමණ ජපානයෙන් හමු වී ඇති බවයි. 

ඒ අනුව පසු ගිය වසරට සාපේක්ෂව අදාළ බැක්ටීරියාව වැළඳුනු පිරිස මෙම වසරේදී ඉහල ගොස් තිබෙනවා.

එය 2024 වසරේ ජනවාරි සහ මාර්තු මාසයන් අතර ජීවිත 77 ක් බිලිගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

විශේෂඥයන් අනතුරු අඟවන්නේ මෙම බැක්ටීරියාව ආසාදනයේ මුල් රෝග ලක්ෂණය බොහෝ විට සෙම්ප්‍රතිශ්‍යාව බව බොහෝ දෙනා වරදවා වටහාගෙන ඇති බවයි. 

නමුත් උගුරේ අමාරුව, උණ, ආහාර රුචිය නැතිවීම, පාචනය, වමනය මෙන්ම අඩු රුධිර පීඩනය වැනි තත්ත්වයන් මෙම බැක්ටීරියාව හේතුවෙන් ඇති විය හැකි බවයි එරට සෞඛ්‍ය අංශ පැවසුවේ. 

පසුව  පැය 24 ත් 48 ත් අතර කාලය තුළදී  අවයව ක්‍රියාකරිත්වය අඩපණ වීම, සිරුර ඉදීමිම සහ අතපය වේදනාව වැනි බරපතල රෝග ලක්ෂණ එම රෝගීන් තුළ ඇති කරන බවට සඳහන්.

එසේම මෙම තත්වයන්ට ක්ෂණිකව ප්‍රතිකාර නොකළහොත්  මෘදු පටක වලට හානි වීම, ශ්වසන අකර්මණ්‍ය වීම, අක්මාව අකර්මණ්‍ය වීම, වකුගඩු අකර්මණ්‍ය වීම සහ බහු අවයව අකර්මණ්‍ය වීම සිදු වීමට හැකියාවක් පවතිනවා.