සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ක්රීඩාංගණයේ අද (24) පැවැත්වෙන එක්දින තරගයට දැඩි ආරක්ෂාවක් යොදා තිබෙනවා.
රංගිරි දඹුලු ක්රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයෙන් ශ්රී ලංකා පිළ ලද පරාජයත් සමග එහි සිටි ක්රීඩා ලෝලීන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරීම ඊට හේතුවයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම පොලිස් නිලධාරීන් වැඩි ප්රමාණයක් අද තරගයේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.
දිවා රාත්රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර අද තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු වනු ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වන්නේ.
තිසර පෙරේරා වෙනුවට මිලින්ද සිරිවර්ධන අද තරගයට කැඳවීමේ වැඩි ඉඩක් පවතිනවා.
ලක්ෂාන් සඳකැන් වෙනුවට අකිල ධනංජයට අද තරගයේ දී අවස්ථාවක් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.
ශ්රී ලංකාව සහභාගී වන 800 වන එක්දින තරගය ද මෙය වනවා.