Friday, April 26, 2024

General line - 0115112241

පරිත්‍යාගශීලීන් හා උපකාර අවශ්‍ය අය සම්බන්ධ කරන Karuna.lk සනාථ කරන ලද සුබසාධන අරමුණක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍යාධාර වෙබ් අවකාශය ඩයලොග් පදනම විසින් එළිදක්වයි




පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ උදව් අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීමට කැමති පරිත්‍යාගශීලී  පාර්ශව ඒකරාශී කරගැනීමේ අරමුණින්  ඩයලොග් පදනමේ සවිබලයෙන්,ප්‍රධාන මෙහෙයුම්කාර පාර්ශවය වශයෙන් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ ස්වාධීන විගණන ආයතනය වශයෙන් PwC Sri Lanka යන ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍යාධාර වෙබ් අවකාශය  වන Karuna.lk  එළිදක්වා තිබේ.
 
මෙම වෙබ් අවකාශය යටතේ සනාථ කරන ලද විශ්වසනීය, ලාභ නොලබන ආයතන, සංවිධාන හා සමාජ සුබසාධන වැඩසටහන් පෙළගස්වා ඇත.

රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සමාජ වගකීමකින් යුතුව ශ්‍රී ලාංකේය ජන ජීවිත සවිබලගන්වමින් නඟාසිටුවීම අරමුණු කරගනිමින් මෙම කාලෝචිත වැඩසටහන ක්‍රියාත්මක වේ.

ඒ වෙනුවෙන් Karuna.lk හරහා ඉහළ අධීක්ෂණයකින්, විශ්වසනීයව හා ආරක්ෂාකාරී බවකින් යුතුව උපකාර අවශ්‍ය අය වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාග ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ.

ලාභ නොලබන  ආයතන හා සංවිධානවලට මෙන්ම පුද්ගලයන්ට සත්‍යාපන ක්‍රියාවලියක් හරහා (Verification process) සමාජ සුබසාධන කාණ්ඩයක් යටතේ තම සුබසාධන වැඩසටහන / කාර්යය හෝ ව්‍යාපෘතිය Karuna.lk ඔස්සේ ලියාපදිංචි කර ඉතාමත් පහසු සේවාවක් නොමිලේ  ලබාගැනීමේ හැකියාව තිබේ.

Karuna.lk ඔස්සේ උපකාර අවශ්‍ය පාර්ශව සඳහා පරිත්‍යාග වශයෙන් ලැබුණු මූල්‍යාධාර යොදා ගැනුණු  ආකාරය පිළිබඳ තොරතුරු ඉතා පැහැදිලිව දැනගැනීමට අවස්ථාව සලසා ඇත. වෙබ් අඩවිය ඔස්සේ ලැයිස්තුගත කර තිබෙන සමාජ සුබසාධන කාර්ය සහ වැඩසටහන් කාණ්ඩ කිහිපයක් යටතේ පෙළගස්වා තිබේ.

ඊට සෞඛ්‍ය සේවා, ප්‍රජා, අධ්‍යාපන, හදිසි සහන, පාරිසරික, ක්‍රීඩා, පිළිකා, සත්ව සුබසාධනය, ස්වේච්ඡා  සේවාවන් ඇතුළු කාණ්ඩ රැසක් අයත් වේ.

Karuna.lk ඔස්සේ දැනට රජයේ අනුමැතිය හිමිවූ  එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන,රතු කුරුස සංවිධානයේ ව්‍යාපෘති, SOS ගම්මාන, Heart to Heart Trust Fund, PRDA, සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය, Child Action Lanka, මනුදම් මෙහෙවර ඇතුළු තවත් සමාජ සුබසාධන වැඩසටහන් හා ව්‍යාපෘති ලැයිස්තුගත කර ඇත.

පරිත්‍යාගශීලීන්ට වෙබ් අඩවියට පිවිස තම හදවතට සමීප ඒ වගේම තමන් පරිත්‍යාගයකින් දායකවීමට කැමති සුබසාධන වැඩසටහනක් හෝ ව්‍යාපෘතියක් තෝරාගෙන Credit හෝ Debit කාඩ්පත් භාවිතයෙන් (Master හෝ Visa), eZ Cash, Dialog Add-To-Bill, Star Points, හෝ  සෘජු බැංකු හුවමාරුවක්  වැනි ගෙවීම් ක්‍රම  රැසක් අතරින් තමන්ට පහසු ගෙවීම් ක්‍රමයක් තෝරා ගනිමින් අනුග්‍රහය දැක්විය හැකිය.

ඩයලොග් ආසිආටා පී.එල්.සී හි සමූහ  ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා අදහස් දක්වමින්,

“Karuna.lk වෙබ් අඩවිය  දියත් කිරීමට හැකිවීම ඩයලොග් පදනමට මහත් සතුටක් වගේම මෙය අපට ලැබුණු සුවිශේෂී වරප්‍රසාදයක් හැටියටයි මම දකින්නෙ.

කෑම වේලක් අවශ්‍ය කෙනෙකුට එය ලබාදීම වෙනුවෙන් මුල්‍යමය පරිත්‍යාගයක් කිරීම, දරුවෙකුගේ අධ්‍යාපන අවශ්‍යතාවයකට උපකාර කිරීම, ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත්  ආරක්ෂා කිරීම වැනි සුබසාධන වැඩසටහන් සඳහා උපකාර කිරීමට කැමති,  උපකාර අත්‍යවශ්‍ය අයට  Karuna.lk විශ්වාසවන්ත  වේදිකාවක්  වනු ඇති.

වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු වශයෙනුත්, මිලියන 17 කටත් වැඩි  ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වසනීය ඩිජිටල් සහකරු වශයෙනුත්  Dialog  සමාගම ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත සවිබලගන්වමින් නගාසිටුවීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කර තිබෙනවා.

ඔක්තෝම්බර් මාසයේදී Dialog පදනම සිය 10 වෙනි සංවත්සරය සමරනවා.මේ හා සමගාමීව Karuna.lk දියත් කිරීමට හැකිවීම මෙම අවස්ථාවට කරන හොඳම උපහාරය හැටියට මම දකිනවා.”

Karuna.lk හඳුන්වාදීමේ අවස්ථාවට සම්බන්ධ වූ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මෙලෙස අදහස් දක්වන ලදී. “Dialog සමාගම සහ  Dialog පදනම සමඟ  සම්බන්ධවීමට හැකිවීම පිළිබඳව සර්වොදය ශ්‍රමදාන ව්‍යාපාරයේ අපි අතිශයින්ම සතුටු වෙනවා.ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දයානුකම්පාවෙන් සහ කාරුණිකබවින් ඉතාම පොහොසත්.

 Karuna.lk ඔස්සේ යම් සුබසාධන වැඩසටහනක් හෝ ව්‍යාපෘතියක් වෙනුවෙන් කටයුතු කරන ආයතනයකට හෝ සංවිධානයකට මේ වේදිකාව ඔස්සේ තම අරමුණ/ සුබසාධන කාර්ය වෙනුවෙන් ඉදිරිපත්වෙමින් ඒ වෙනුවෙන් උපකාර කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකුට ඒ සඳහා විශ්වාසයෙන් දායකවිය හැකි අවස්ථාවකුත් සලසා දී තිබෙනවා.  

Karuna.lk සඳහා ප්‍රධාන මෙහෙයුම් පාර්ශවය ලෙස කටයුතු කරන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය මේ වෙනුවෙන් ලැබෙන ඉල්ලීම්  සුපරික්ෂාකාරීව සලකා බලා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගනිමින් කටයුතු කිරීමට ඉදිරිපත්වී සිටින්නේ මහත් සතුටකින්.

වසර 60 ක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙහෙවරක යෙදෙමින් අප ලද අත්දැකීම් අනුව මෙවැනි කාලෝචිත වැඩසටහනකට අපගේ උපරිම සහාය ලබාදෙමින් එය සාර්ථක කරගැනීමට අපගේ දායකත්වය ලබාදිය හැකි වන බවට දැඩි විශ්වාසයක් තිබෙනවා.”

PwC Sri Lanka ආයතනයේ හවුල්කරු ලෙස කටයුතු කරන තිවංක ජයසිංහ මෙලෙස සඳහන් කළේය.

”ශ්‍රී ලංකාව ඉතාමත්ම අසීරු අවස්ථාවකට මුහුණදෙමින් සිටිනවා. බොහෝ අයට තම එදිනෙදා අවශ්‍යතා ඉටුකරගැනීම අතිශයින්ම දුෂ්කර වී තිබෙනවා.ජනතාවට උපකාර අවශ්‍ය වූ සෑම අවස්ථාවකදීම ඩයලොග් සමාගම ඒ වෙනුවෙන් පෙරට පැමිණ කටයුතු කළ ආකාරය අපි අත්දැක තිබෙනවා.ඒ වගේම Dialog පදනමේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන Karuna.lk ව්‍යාපෘතිය මගින් විශාල පරිත්‍යාගශීලීන් පිරිසකගේ දායකත්වය හිමිවී උපකාර අවශ්‍ය අයට සහන සැලසෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

මේ ව්‍යාපෘතියේ විගණකරු වශයෙන් කටයුතු කරමින් මේ සඳහා පරිත්‍යාගයෙන් ලැබුණු මූල්‍යාධාර සත්‍යාපනය කර ඒ සම්බන්ධයෙන් නිසි විගණනයක් කළ පසුව සුදුසුම ප්‍රතිලාභීන්ට ලබාදීමට සැලැස්වීමේ කාර්යයට දායකවීමට ලැබීම අප ලද භාග්‍යයක්.

මේ වැඩසටහන තුළින් පරිත්‍යාගයෙන් දායකවීමට කැමති පිරිසගේ උනන්දුව වැඩි වී ඒ තුළින් ජනතාවට විශාල සෙතක් සැලසෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

වැඩි විස්තර දැනගැනීමට www.karuna.lk වෙත පිවිසෙන්න.  

 

 

(වමේ සිට දකුණට) : Pwc Sri Lanka ආයතනයේ සාමාජික තිවංකජයසිංහ, ආසිආටා බර්හාඩ් සමූහයේ, විදුලි සංදේශ පිළිබඳ සමූහ ප්‍රධානවිධායක නිලධාරී  සහ සමූහ විධායක උප සභාපති ආචාර්ය හාන්ස්විජයසූරිය, සර්වොදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යාආරියරත්න, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධානවිධායක සුපුන් වීරසිංහ Karuna.lk  සනාථ කරන ලද සුබසාධනඅරමුණක් සහිත  ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍යාධාර වෙබ් අවකාශය  නිලවශයෙන් එළිදක්වමින්.